'නාරි' සමඟින් සුවපත් දිවියක් - යහපත් අනාගතයක්

R
Rtr. Sandamini Senadheera
16-10-2025
5 min read
#නාරි
'නාරි' සමඟින් සුවපත් දිවියක් - යහපත් අනාගතයක්

'නාරි' සමඟින් සුවපත් දිවියක් - යහපත් අනාගතයක්

Rtr. Sandamini Senadheera
16-10-2025
නාරි

'නාරි' සමග සුවපත් දිවියක් - යහපත් අනාගතයක්
                                                                       
ලිපි අංක : 03 

මේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයයි.

◼️පිළිකා වල එක් එක් ප්‍රභේද ගැන කතාකරද්දි, අපිට අද වන විට ලෝකයේ වැඩිපුරම දක්නට ලැබෙන පිළිකා වගේම අඩුවෙන් දක්නට ලැබෙන පියයුරු පිළිකා යන දෙවර්ගෙම හමුවෙනවා.

මුලින්ම අපි කතාකරමු ප්‍රධාන වශයෙන් අපිට දක්නට ලැබෙන පියයුරු පිළිකා වර්ග ගැන සහ ඒ මොන වගේ පිළිකාද කියලා.

1) ආක්‍රමණශීලී නාල පියයුරු පිළිකාව - Invasive (infiltrating) ductal carcinoma (IDC)

මේ පිළිකාවෙ මූලාරම්භය වෙන්නෙ කිරි නාල(milk ducts). එතනින් ආරම්භ වෙලා ළඟ තියෙන පියයුරු පටක දක්වා වර්ධනය වෙන්න මේ පිළිකාවට හැකියාව තියෙනවා. ඇමරිකාවෙ වැඩිපුරම දක්නට ලැබෙන පියයුරු පිළිකා වර්ගයක් ලෙසත් IDC පිළිකාව අපිට හඳුන්වන්නට පුළුවන්.

2) ලොබියුල පියයුරු පිළිකාව - Lobular breast cancer

මේ පියයුරු පිළිකාව පියයුරේ කිරි නිපදවන ග්‍රන්ථිවලින් (lobules) ආරම්භ වෙලා  අවට පියයුරු පටක දක්වා පැතිරෙනවා. මේ පිළිකා ඇමරිකාවෙ දෙවනියට ප්‍රචලිත පියයුරු පිළිකා වර්ගයක් ලෙස හදුන්වන්නට පුළුවන්.

3) නාල පියයුරු පිළිකාව - Ductal carcinoma in situ (DCIS)

මුලින් අපි හැඳින්වූ පිළිකාව (IDS) වගේම මේ පිළිකාව ආරම්භ වෙන්නෙත් කිරි නාල වලින්. වෙනසකට තියෙන්නෙ මේ පිළිකාව IDS පිළිකාව වගේ කිරි නාලවලින් එහාට පැතිරෙන්නෙ නැති වීමයි.

ඊළඟට අපි බලමු සමාජෙ සාමාන්‍යයෙන් දුබලව දක්නට ලැබෙන පිළිකා මොනාද කියලා.

1) ත්‍රිත්ව-ඍණ පියයුරු පිළිකා - Triple-negative breast cancer (TNBC):

මේ පිළිකාව ඉතාමත් ආක්‍රමණශීලී ප්‍රභේදයක්. අනිත් පියයුරු පිළිකා වලට වඩා වේගයෙන් පැතිරෙන නිසා ආක්‍රමණශීලී පිළිකා වර්ගයක් ලෙසට මෙය හඳුන්වනවා.

2) ප්‍රදාහ පියයුරු පිළිකා - Inflammatory breast cancer (IBC)

මෙය දුර්ලභ වගේම වේගයෙන් වර්ධනය වන පිළිකාවක්. එය බැලූ බැල්මට පියයුරු මත තියෙන කුශ්ටයක් වගේ.

3)පියයුරුවල පැජට් රෝගය - Paget's disease of the breast

මේ පිළිකාව තන පුඩුවේ සමට බලපානවා වගේම ඒකත් කුශ්ටයක පෙනුමක් ගන්නවා.  පියයුරු පිළිකා සියල්ලන්ගෙන්ම පැජට් රෝගය තියෙන්නෙ 4% කටත් වඩා අඩුවෙන්.

◼ පියයුරු පිළිකා අදියර (breast cancer stage) සහ ඒවායෙන් අදහස් වෙන්නෙ මොනවාද?

පියයුරු පිළිකා අදියර ගැන කතාකරද්දි අපි දැනගත යුතු පියයුරු පිළිකා අදියර තමයි රෝගයේ බරපතලකම තීරණය වන අදියර. පිළිකාවෙ අදියර කලින් තීරණය කරලා ඊට පස්සෙ ඒක තවදුරටත් පැතිරුනා හෝ අඩුවුනා කියලා කලින් නිර්ණය කරපු අදියරේ වෙනසක් සිදුවෙන්නෙ නෑ.

උදාහරණයක් විදියට, ඔයා පළමු අදියර පිළිකාවක් තියෙන කෙනෙක් කියලා නිර්ණය කරාට පස්සෙ පිළිකාව වර්ධනය වෙලා පැතිරෙනවනම් , ඊළඟට එන රෝග ලක්ෂණ අනුව ඔයාට තියෙන්නෙ තුන්වන අදියරේ හරි හතරවන අදියරේ හරි පියයුරු පිළිකාවක් කියලා, කලින් නිර්ණය කරපූ අදියර වෙනස් කරන්නෙ නෑ. ඒ වෙනුවට පිළිකාව ප්‍රතිකාර වලට ප්‍රතිචාර දක්වනවද නැද්ද කියලා තීරණය කරන්න, ඒ කියන්නෙ ඒ අදියර මුලින් අඳුරගත්ත අදියරයට වඩා වෙනස් බව පෙන්වන්න අලුතින් තීරණේ කල අදියර ඉදිරියෙන් 'r' ලෙස සටහන් කරනවා.

ඒ වගේම පියයුරු පිළිකා අදියර අපිට පහත ආකාරයට වර්ග කරන්න පුළුවන්.

1) ගෙඩියේ (ටියුමර්) ප්‍රමාණය සහ පිහිටීම අනුව
2) පිළිකාව අවට වසා ගැටිති වලට හෝ ශරීරයේ අනෙකුත් කොටස් වලට පැතිරී තිබේද යන්න අනුව
3) ගෙඩියේ ශ්‍රේණිය එනම් එය වර්ධනය වීමට හා පැතිරීමට ඇති හැකියාව අනුව
4) සමහර ජෛව සලකුණු - හෝමෝන ප්‍රතිග්‍රාහක හෝ වෙනත් ප්‍රෝටීන - සොයාගෙන තිබීම අනුව

තව අපිට TNM පද්ධතිය යටතෙත් පියයුරු පිළිකාව 0 - 4 දක්වා අදියර පහක් යටතේ වර්ග කරන්න පුළුවන්.

අදියර 0 පියයුරු පිළිකාවක් carcinoma in situ ලෙස හඳුන්වනවා. ඒ කියන්නෙ කිසියම් පුද්ගලයෙක්ගෙ පියයුරු වල පිළිකා සෛල පැතිරෙන්න කලින් හොයාගත්තම ඒ කෙනාව සලකන්නෙ 0 අදියරේ ඉන්න කෙනෙක් විදියට. නාලිකා (ducts) වලදී, එය නාලිකා පිළිකාව (DCIS - ductal carcinoma in situ) විදියට හඳුන්වනවා වගේම ඒක ආක්‍රමණශීලී නොවන කාණ්ඩයට අයිති වෙනවා.

මුල් අවධියෙ පියයුරු පිළිකාවකදි ගෙඩිය(tumor) ඉතා කුඩා වෙනවා වගේම ඒක පැතිරිලා නැතිවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අසල තියෙන වසා ගැටිති වල කුඩා වශයෙන් හෝ පැතිරිලා තියෙන්නත් පුළුවන්. අසල ප්‍රදේශ වලට පැතිරිලා තියෙන පිළිකාවක් ආක්‍රමණශීලී පියයුරු පිළිකාවක් ලෙස හඳුන්වනවා.

මේ පළවෙනි අදියර අපිට තවත් කොටස් දෙකක් දක්වා බෙදා දක්වන්නට පුළුවන්. එනම් 1A සහ 1 B අදියර ලෙස.

1A අදියරයෙදි ගෙඩිය(tumor) ඉතා කුඩායි වගේම වසා ගැටිති වලට මේක පැතිරිලා නෑ.

1 B අදියරේදි පිළිකාව 0.2 mm ත් 2 mm අතර වසා ගැටිති වල දකින්න ලැබෙනවා. ( මේ අදියරේදි පිළිකා ගෙඩියක් හඳුනාගන්න බෑ එහෙම නැත්නම් මේ වගේ ගෙඩියක්/ ටියුම එකක් 20 mm ට වඩා කුඩා ප්‍රමාණයක් ගන්නවා.)

දෙවනි අදියරේදි ටියුම එකක් මුල් අදියරට වඩා විශාලයි වගේම මේ අසල ඇති වසා ගැටිති කීපයකට පැතිරිලා තියෙන්න පුළුවන්. මෙයත් කලින් වගේම කොටස් දෙකකට වෙන්කර දක්වන්නට පුළුවන්. අදියර 2A සහ අධියර 2B විදියට.

2A අදියරේ කියන්නෙ පිළිකාව වසා ගැටිති 1-3 ඇරුනම ශරීරයෙ අනිත් කොටස් වල පැතිරිලා නැති අදියරයක්. හැබැයි මේ අදියරේදි ටියුම එකක් තියෙනවා කියලා හරියටම හොයාගන්න බෑ. ඒකට හේතුව මේ ටියුම එක 20 mm හෝ ඊට වඩා කුඩා වීම. එහෙමත් නැත්නම් මේ ටියුම එක 20 mm ඉඳන් 50 mm දක්වා ප්‍රමාණයෙන් තිබිලා වුනත් වසා ගැටිති දක්වා පැතිරිලා නැති වීම.

2B අදිරේදි ටියුම එකක් 20mm 50mm දක්වා ප්‍රමාණයෙන් යුක්තයි වගේම මේක වසා ගැටිති 1-3 දක්වා පැතිරිලා තියෙනවා. එහෙම නැත්නම් මේ අදියරේදි ටියුමර් එක මිලිමීටර් 50 ට වඩා විශාලයි හැබැයි වසා ගැටිති දක්වා පැතිරිලා නෑ.

තුන්වන අදියරේදි පිළිකා ගෙඩිය, ඒ කියන්නෙ ඔය කියන ටියුම එක දෙවන අදියරේ තිබුන එකට වඩා විශාලයි. මේ අදියරේදි ටියුමර් එක වසා ගැටිති දක්වා හෝ පියයුරු පටක හෝ පියයුරු අස්ථි දක්වා පැතිරිලා තිබීම දකින්න ලැබෙනවා. මෙයත් අපිට 3A, 3B හා 3C ලෙස අදියර තුනකට බෙදා දක්වන්නට පුළුවන්.

3A අදියරේදි ශරීරයෙ අනිත් කොටස් වලට නැතිව ටියුම එක හතරවෙනි වසා ගැටිත්තෙ ඉඳලා නවවෙනි ගැටිත්ත දක්වා හෝ පියයුරු වසා ගැටිති (mammary lymph nodes) දක්වා පැතිරිලා තියෙනවා. එහෙමත් නැත්නම් මේ  අදියරේ ඉන්න රෝගියෙක්ගෙ ටියුම එක 50mm ට වඩා විශාලයි වගේම වසා ගැටිති 1 - 3 දක්වා පැතිරිලා තියෙනවා.

3B අදියරේ ඉන්න කෙනෙක්ගෙ ටියුමර් එක පපු පෙදෙස දක්වා පැතිරී තිබීමක් හෝ පියයුරු ඉදිමී තිබීමක් අපිට දැකගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අවධියෙ ඉන්න රෝගියෙක්ට පියයුරු පිළිකාවල තව ආකාරයක් වන ගිනි අවුලුවන ස්වභාවයක් දැනීම තවත් ලක්ෂණයක්. (Inflammatory breast cancer). මෙතනදි ටියුම එක සිරුරේ අනිත් කොටස් වලට නැතිව නවවෙනි වසා ගැටිත්ත දක්වා පැතිරී තිබීමේ හැකියාවක් තියෙනවා.

3C අදියරේ ඉන්න කෙනෙක්ගෙ ටියුම එක අකු ඇටය(collarbone) පහලින් තියෙන වසා ගැටිතිත් ඇතුලත්ව දහවෙනි වසා ගැටිත්ත හෝ ඊට වැඩි වසා ගැටිති ප්‍රමාණයක් දක්වා පැතිරිලා තියෙනවා. හැබැයි සිරුරෙ අනිත් කොටස් වලට පැතිරිලා නෑ.

හතරවෙනි අදියරේ ඉන්න පුද්ගලයෙක්ගෙ පිළිකාව ශරීරයෙ දුරස්ථ කොටස් ඒ කියන්නෙ අස්ථි, පෙනහළු හෝ අක්මාව දක්වා පැතිරිලා තියෙනවා. මේ අදියරේදි පිළිකාව හුඟක්ම පැතිරී ගිය අවධියක් ලෙස හඳුන්වනවා වගේම මේක metastatic breast cancer ලෙසත් හඳුන්වනවා.

සාමාන්‍යයෙන් මූලික ප්‍රතිකාර වලින් පස්සෙ නැවත පිළිකා රෝගය පැමිණෙනවා නම්, අපි කියනවා පුනරාවර්තන පියයුරු පිළිකාවක් කියලා. බොහෝ වෙලාවට ප්‍රතිකාර වලින් පළමු වසර දෙක තුන ඇතුලත පිළිකා රෝගය නැවත මතුවෙනවා. වසර ගණනාවකට පස්සෙ වුනත් මේ පිළිකා මතුවෙන්න තියෙන අවස්ථාව වැඩියි.

◼ පියයුරු පිළිකා ශ්‍රේණි (grades of breast cancer) කියන්නෙ මොනවද ?

අපි කලින් කතාකරා වගේම වෛද්‍යවරු පිළිකා රෝගයට ප්‍රතිකාර කරන්න තොරතුරු ගන්න භාවිතා කරන්නෙ පිළිකා අදියර සහ පිළිකා ශ්‍රේණි. පිළිකා අදියරක් පිළිකාවෙ විශාලත්වය සහ කොයිතරම් දුරට ඒක පැතිරිලාද කියලා තීරණය කරද්දි පිළිකාව අයිති ග්‍රේඩ් එක/ ශ්‍රේණිය අපිට පැහැදිලි කරනවා පිළිකා සෛල සෞඛ්‍ය සම්පන්න කෙනෙක්ගෙ සෛල වලට වඩා කොයිතරම් අසාමාන්‍ය ද කියලා. මේ ශ්‍රේණිය හොයාගන්න වෛද්‍යවරු අන්වීක්ෂයක් භාවිතා කරනවා. මෙතනදි පිළිකා ශ්‍රේණිය පිළිකාව හැසිරිය හැකි ආකාරය ගැන වෛද්‍යවරයාට යම් අදහසක් ලබා දෙනවා.

පිළිකා ශ්‍රේණි කොටස් තුනක් තියෙනවා. ඒවා තමයි පළවන, දෙවන සහ තුන්වන ශ්‍රේණියේ පිළිකා.

1 ශ්‍රේණියේ පියයුරු පිළිකා සෛල සාමාන්‍ය සෛල වලට බෙහෙවින් සමානයි. මේ සෛල වල වර්ධන වේගය සිද්ධවෙන්නෙ හුඟක් හිමීට. ඒ වගේම මේ ශ්‍රේණියෙ පිළිකා සෛල ආක්‍රමණශීලීතාවෙන් හුඟක් අඩුයි.

2 ශ්‍රේණියේ පියයුරු පිළිකා සෛල සාමාන්‍ය සෛල වලට වඩා වෙනස්. ඒවගේම මදක් වේගවත් වර්ධනයක් මේ සෛල පෙන්නුම් කරනවා.

3 ශ්‍රේණියේ පියයුරු පිළිකා සෛල සාමාන්‍ය සෛලවලට වඩා හුඟක් වෙනස්. මේවා ආක්‍රමණශීලී වගේම වැඩි වේගයකින් වර්ධනය වෙනවා.


◼ මොනවද මේ පිළිකා ප්‍රතිකාර වර්ග?

පිළිකාවක් තියෙන පුද්ගලයෙක් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන්නෙ ඉක්මනට නොමැරී, පුළුවන් උපරිම ආයුශ අරන් ජීවත් වෙන්න. ඒ නිසාම වෛද්‍යවරු තමන්ට හැකි උපරිම අයුරින් රෝගීන්ට ප්‍රතිකාර කරනවා. ඒ පිළිකාව නැති කිරීමේ අරමුණින්. ඉතින් මේ ප්‍රතිකාර වර්ග අතරින් වඩාත් ප්‍රචලිත පිළිකා ප්‍රතිකාර ක්‍රම ලෙස ශල්‍යකර්ම (Surgery), විකිරණ චිකිත්සාව (Radiation therapy), රසායනික චිකිත්සාව (Chemotherapy) සහ හෝමෝන චිකිත්සාව(Hormone therapy) හඳුන්වන්න පුළුවන්.

ශල්‍යකර්ම
සාමාන්‍යයෙන්, ශල්‍යකර්මයක මූලික අරමුණ තමයි සියලුම පිළිකා සෛල සහ අවට තියෙන නිරෝගී පටක ඉවත් කරන එක. ඉන්පසු රෝග විශේෂඥයෙක් හරහා නිරෝගී පටක පරීක්ෂා කරලා, පිළිකා සෛල නැති බව තහවුරු කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්නෙ පැතිරී නැති සෛල ඉවත් කරන්න. හැබැයි මේ ක්‍රමය හුඟක්ම ඵලදායී වෙන්නෙ වෛද්‍යවරයට රෝගියාගේ ටියුම එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්නම් විතරයි. උදාහරණයක් විදියට පිළිකා රෝගියාගේ ටියුම එක හුඟක්ම සියුම් ඒ කියන්නෙ වැදගත් ඉන්ද්‍රියක හරි රුධිර නාලයක හරි පිහිටලා තිබුනොත් මෙතනදි ශල්‍යකර්මය ප්‍රතිකාර ක්‍රමයක් විදියට භාවිතා කරන්නෙ නෑ. ඒ වගේම ශල්‍යකර්ම හරහා රුධිර පිළිකා වගේම පැතිරී ගියපු පිළිකා ඉවත් කරන්න බෑ.

විකිරණ චිකිත්සාව

ඉහළ විකිරණ මාත්‍රාවක් භාවිතා කරලා පිළිකා සෛල විනාශ කරන්න විකිරණ චිකිත්සා ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා. මේ ක්‍රමයෙ වර්ග කීපයක් අපිට දැකගන්න පුළුවන්. ඒ බාහිර කදම්භ විකිරණ චිකිත්සාව, අභ්‍යන්තර විකිරණ චිකිත්සාව සහ හයිපර්තර්මියා චිකිත්සාව විදියට. 

බාහිර කදම්භ විකිරණ චිකිත්සාවෙදි පිළිකා සෛල විනාශ කරන්න භාහිරින් කුඩා යන්ත්‍රයක් භාවිතා කිරීම සිදුකරනවා.
අභ්‍යන්තර විකිරණ චිකිත්සාවෙදි පිළිකා සෛල විනාශ කරන්න පිළිකාවක් මත හෝ ඒ ආසන්නයේ හරි විකිරණ තැම්පත් කරනවා. බොහෝ වෙලාවට බෙහෙත් පෙති හරහා තමයි මෙයට ප්‍රතිකාර කරන්නෙ. 
හයිපර්තර්මියා චිකිත්සාවෙදි පිළිකා සෛල විනාශ කරන්න වගේම පිළිකා සෛල කුඩා කරන්න තාපය භාවිතා කරනවා. 

රසායනික චිකිත්සාව

රසායනික චිකිත්සාවෙදි පිළිකා සෛල විනාශ කරන්න රසායනික චිකිත්සක ඖෂධ භාවිතා කරනවා. මේ ඖෂධ රුධිරය හරහා ගමන් කරලා වේගෙන් වර්ධනය වෙන පිළිකා සෛල විනාශ කරනවා. උදාහරණ විදියට ශල්‍ය වෛද්‍යවරු සමහර වෙලාවට ශරීරයට වගේම ටියුම පිිහිටලා තියෙන ධමනි වලට මේ ඹෟෂධ එන්නත් කරනවා. මේ ක්‍රමය හුගක්ම පැතිරිලා තියෙන පිළිකා වලට වගේම නැවත පැමිණෙන්න ඉඩ තියන පිළිකා වලට තියෙන උචිත විසඳුමක්.

හෝමෝන චිකිත්සාව

මේකෙදි වෙන්නෙ පිළිකා සෛල වර්ධනය කරන්න උදව් කරන හෝමෝන අවහිර කරන එක නැත්නම් අඩු කරන එක. ඇන්ඩ්‍රොජන් සහ ඊස්ට්‍රජන් වගේ ලිංගික හෝමෝන ඉදිරියේ සමහර පිළිකා වඩා වේගයෙන් වර්ධනය වෙනවා. වෛද්‍යවරයා පිළිකා රෝගියෙක් පරීක්ෂාකරලා ඒ පිළිකාව හෝමෝන වලට ප්‍රතිචාර දක්වන බවට සැක කරනවනම්, ඊළඟට වෛද්‍යවරයා හෝමෝන ප්‍රතිග්‍රාහක සඳහා සෛල පරීක්ෂා කරනවා. ඒ වෙද්දි හෝමෝන ප්‍රතිග්‍රාහක ධන (HR+) නම්, එවිට මේ ප්‍රතිකාරය සිදුකරනවා.


◼ පියයුරු පිළිකා සුවකිරීමේ අනුපාතය වැඩි කිරීම සඳහා අපි කල යුත්තේ කුමක්ද? 

මෙතනදි පියයුරු පිළිකා සුවකිරීමේ අනුපාතය වැඩිකරන්න මුල් අදියරේ ඒ කියන්නෙ පිළිකා සෛල පැතිරෙන්න කලින් පලමු අවදියේදීම පිළිකාවක් තියෙන බව හඳුනගත්තම පියයුරු පිළිකා සුවකිරීම ඉතාමත් පහසු වෙනවා. මේ සඳහා මැමෝග්‍රෑම් සහ අල්ට්‍රා සවුන්ඩ් වැනි පරීක්ෂණ මෙවලම් පිළිකාවට ප්‍රතිකාර කරන නූතන වෛද්‍ය ක්‍රම ලෙස භාවිතා කරනවා. ඒ වගේම ජාන පරීක්ෂණ, බයොප්සි, සහ රූපගත කිරීම වැනි ක්‍රම උසස් රෝග විනිශ්චයට උපකාරී වෙනවා. ඊට අමතරව ඉලක්කගත චිකිත්සාව වගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට Herceptin වැනි ඖෂධ භාවිතා කරනවා. එයට හේතුව වන්නේ මේ ඖෂධ හරියටම පිළිකා සෛල පමණක් විනාශ කිරීම. තවද, වැඩිදියුණු කරන විකිරණ තෙරපි ක්‍රම වගේම ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රම, සම්පූර්ණ පිියයුරු ඉවත් නොකර lumpectomy වගේ වඩා හොඳ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම සහ පසු විපරම් සහ අධීක්ෂණ වගේ නූතන වෛද්‍ය ක්‍රම මේ පියයුරු පිළිකා සුවකිරීමේ අනුපාතය ඉහල නංවන්නට උපකාර කරනවා.

◼ පිළිකාවක් ඇතිබවට තහවුරු කිරීමට ලබාදෙන සංඥා මොනවද? 

ඊළඟ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු.

Enjoyed this article?

Stay updated with our latest news, projects, and insights. Join our community today!