සුවබර අනාගතයකට 'නාරි' තුලින් නව බලාපොරොත්තුවක්

R
Rtr. Yashoda Swarnamali
31-10-2025
5 min read
#නාරි
සුවබර අනාගතයකට 'නාරි' තුලින් නව බලාපොරොත්තුවක්

සුවබර අනාගතයකට 'නාරි' තුලින් නව බලාපොරොත්තුවක්

Rtr. Yashoda Swarnamali
31-10-2025
නාරි

 


පියයුරු පිළිකාවක් කොයිතරම් වේදනාත්මකද?


පියයුරු පිළිකාව පිළිබඳව බොහෝ දෑ, අපි දැන් දැනුවත්ය. 


ඉතින්, ඒ හා සම්බන්ධ අත්දැකීම් ඔබ හා බෙදාගන්නට, 

නිසංසලා ප්‍රියදර්ශනී මහත්මිය අප සමඟ සම්බන්ධ විය.


1. අපේ සංවාදයට ආරම්භයක් ලෙස, මුලින්ම ඔබ පිළිබඳ විස්තර ටිකක් කියමු.


මගේ නම නිසංසලා ප්‍රියදර්ශනී. මගෙ ගම නුවරඑළිය. විවාහ වෙලා දැන් ඉන්නේ ගම්පහ කිරිඳිවැල.


2. පියයුරු පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තේ කොයි කාලේදි වගේද?


2016දී. එතකොට මට වයස 32යි. මගෙ පුතාට වයස අවුරුදු 3යි.


3. පියයුරු පිළිකාවක් තියෙනවා කියලා දැන ගත්තේ කොහොමද? මොන වගේ හැඟීමක්ද දැනුනේ?


මුලින්ම පියයුරුවේ පුංචි ගැටිත්තක් තිබුනේ. ඒක අඳුනගන්න ගමන්ම අපි වෛද්‍යවරයෙක් මුණ ගැහුණා. එයා අපිව විශේෂ්‍ය වෛද්‍යවරයෙක් ළඟට යැව්වා. බණ්ඩාරණායක රෝහලෙන් Needel test එක කළා. වාර්තාව සාමන්‍යයි. ඒත් මටයි මහත්තයටයයි ප්‍රශ්නයක් තිබ්බා මොකක්ද මේ කියලා. අපි ආයේම Scan guide පරීක්ෂාව කළා. ඒත් කිව්වේ ප්‍රශ්නයක් නෑ කියලා. ඒත් මට කම්මැලි ගතිය, නිදිමත වගේ ලක්ෂණ තිබ්බ නිසා සැකයක් තිබ්බා. ඒ නිසාම අපි නවලෝක රෝහලෙන් Mammo test එක කළා. ඒකෙත් හරියටම පිළිකාවක් කියලා තිබ්බේ නෑ. ඩොක්ටර් කිව්වා “තව එකම එක test එකයි තියෙන්නේ. මෙච්චර දුර ආපු එකේ ඒකත් කරමු” කියලා. ඊටපස්සෙ, අපි Tow cut biopsy test එක කලා. වාර්තා ආවේ මාසෙකින්. ඩොක්ටර් මගෙ මහත්තයට කියලා තිබ්බා මට පිළිකාවක් කියලා. අපි රෝහලට ගියා. මෙච්චර කල් මගෙ වාර්තා ඔක්කොම ආවේ සුදු පාට කොල වල. ඒ කියන්නේ Negative කියලා. ඒත් මේ පාර නර්ස් අරන් ආවේ නිල් පාට කොලයක්. මම දැන ගත්තා මට පිළිකාවක් තමයි කියලා. මම ඇඬුවා හොඳටම. මට දැනුනේ මගෙ මුළු ලෝකෙම කඩා වැටුණා කියලා.


4. රෝගයට ප්‍රතිකාර කරන කාල සීමාව තුළ මුහුණ දෙන්න වුණ අභියෝග, දුෂ්කරතා මොනවද? සමාජයෙන් වුණ බලපෑම කොයි වගේද?


ඩොක්ටර් කිව්වා නවීන තාක්ෂණය අනුව, පියයුර අයින් නොකර සැත්කමකින් මාව සුව කරන්න පුලුවන් කියලා. හැබැයි ඒක අමාරුයි. දවස් 2ක් 3ක් ICU ඉන්න වෙයි කියලත් කිව්වා. අපි කැමති උනා වැඩේට. ඒත් එක දවසක් එක රෝගියෙක් මට කිව්වා  "ඕක හරි අමාරුයි. ඕකනම් කරන්න එපා.ඕක කළාම ජීවිතෙත් ශුවර් නෑ. ඔයාට විඳවන්න වෙයි” කියලා. ඉතින් මම බය වුණා. මම සැත්කම කරන්න බෑම කිව්වා. Surgent sir මට කතා කරලා කිව්වා “මාව විස්වාසයි නේද? එහෙමනම් සැත්කමට ලෑස්ති වෙන්න” කියලා. මගෙ සැත්කම කළා.දවස් 5ක් ICU හිටියා. සෑහෙන්න අමාරු වුණා මට. ඉතින්, මට ඇවිදින්න පවා අමාරු වුණා. ඒත් සැත්කම සාර්ථකයි.

ඊට පස්සේ මහරගම රෝහලට කිමෝ කරන්න යැව්වා. පළවෙනි කිමෝ එකෙන් ප්‍රශ්නයක් උනේ නෑ. මන් සතුටින් ගෙදර ආවා. ඒත් හවස 6 වෙනකොට මට වමනේ යන්න පටන් ගත්තා. මට සෑහෙන්න අමාරු උනා. මට මොකුත් මතක නෑ. මම එළි වෙනකම් වමනේ කරලා, වේදනාවෙන් කෑගහලා තිබුණා. මම දවස් 3ක් නිදි. ඒ බෙහෙත් හරිම සැරයි. දරාගන්න අමාරුයි. කිමෝ එක කරලා තුන්වෙනි සතිය වෙනකොට මගෙ කොණ්ඩේ ඔක්කොම ගියා. රෑ කොණ්ඩේ ගොතලා නිදියලා උදේ නැඟිටලා ලෙහෙනකොට පැත්තක්ම බිම වැටුණා. ඊට පස්සේ කොණ්ඩේ කැපුවා කොටටම. අයියා මගේ කොන්ඩේ තට්ටේ ගෑවා.කිමෝ නිසා මගේ අතපය සේරම කලු වෙලා ගියා. බත් කටක්වත් කන්න බැරි තරම් මට අපිරියයි.

කිමෝ එකෙන් පස්සේ තව බේත් 12ක් විද්දා. මම හරියටම අවුරුද්දක් දුක් වින්දා.

කොණ්ඩේ තටේ ගාලා හිටපු නිසා මම Ice cap එකක් පාවිච්චි කළා. දවසක් මහරගම ගිහින් එනකොට ත්‍රීවීල් එකේදී මං ඒක ගැලෙව්වා. මාව දැකපු මිනිස්සු මම දිහා හරි අමුතු විදියට බැලුවේ. ඒත් මම ඔලුව වාහනයෙන් එළියට දාලා ඒ අය එක්ක ලස්සනට හිනා උනා.


5. කොහොමද මේ අභියෝගය ජය ගත්තේ? ඔබට වැඩියෙන්ම ශක්තියක් උනේ කවුද?


සැත්කම, කිමෝ, Radio therapy, බෙහෙත් විඳින එක එහෙම මම හරියටම වෙලාවටම කරගත්තා. තියෙන සායන දිනයට හරියටම ගියා. හරියටම අවුරුද්දක් මම බෙහෙත් කළා සති 3න් 3ට. අද මම ලස්සනට ඉන්නවා.

මට හයියක් උනේ මගේ පවුලේ අය. ඒ වගේම මට ප්‍රතිකාර කරපු  Doctors ලා සහ Nurse ලා මට සෑහෙන්න උදව් කලා.


6. මේ දේ කොහොමද ඔයාගේ ජීවිතේට, පවුලේ අයගේ ජීවිතේට බලපෑවේ? 


කිමෝ කරනකොට අතපය ඔක්කොම කලුවෙලා ගියානේ. මට මගෙ අතින් බත් කටක් කන්නවත් හිතුණේ නෑ. අප්පිරියයි. මගෙ පුතා අඬනවා “අම්මා බත් කවන්න” කියලා. මට මගෙ දරුවා ළඟින් නිදියන්නවත් උනේ නෑ.

කිමෝ එකෙන් කොණ්ඩේ ගිය වෙලාවේ මම කෑගැහුවා අම්මේ කියලා.අම්මා දුවන් ආවා කාමරයට. මගෙ කොණ්ඩේ බිම තියෙනවා දැකලා මගෙ අම්මට Pressure වැඩි වෙලා එයා දවසක්ම නිදා ගත්තා ඇඳට වෙලා.

ඒ දවස්වල මට තිබුණා ලොකු ඔලුවේ කැක්කුමකුත්. සමහරවිට මම රෝගය ගැනම වැඩිපුර හිතපු නිසා වෙන්න ඇති. 

හැබැයි මම අසනීපයි කියලා නිකන් හිටියෙත් නෑ. දවස් 5ක් මම නිදා ගත්තත් 6වෙනි දවසේ නැඟිටලා මම මහත්තයට කෑම හදලා දුන්නා.


7. පවුලේ අයගෙන් වගේම අනිත් අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


මගේ අයියා, එයා දැන් ජීවතුන් අතර නෑ. එයා Bio technology කෙනෙක්. මම Operation  එක කරන්න අකමැති වුණ වෙලාවේ එයා අඳුරන Doctors ලගෙන් අහලා තිබ්බා.එයාලා කියලා තිබ්බා මේක කරගන්න කියලා. මං ආස කරන හැම කෑමක්ම වගේ මගේ පවුලේ අය මට ගෙනත් දුන්නා. මගෙ මහත්තයගේ නැන්දා කෙනෙක් ඉන්නවා එයා මට ගොඩක් උදව් කළා. මගෙ ළඟ ගොඩක් වෙලාවට හිටියේ එයා. පළවෙනි කිමෝ එකෙන් මට අමාරු වුණ වෙලේ මං කෑගහනකොට මගෙ කොන්ද, අත පය පවා එයාලා අත ගෑවා. මම එදා උදේ නැඟිටිනකොට මගෙ මහත්තයා ඇඳ ගාව බිම නිදි. ඒ වෙනකොටත් එයා මගේ වමනේ බාල්දි 10 විතර ඇදලා තිබ්බා. මහත්තයගේ තාත්තා කිව්වා ඊළඟ බෙහෙත විදින්නත් එපා කියලා මට අමාරු වෙන නිසා. මගෙ කොණ්ඩේ ගිය වෙලේ මගෙ අයියලා මට නුවර එළියෙන් ලස්සන Scarf, Ice cap වගේම ලස්සන Wig එකකුත් එවලා තිබ්බා.  මගෙ පුතා අඬනකොට අයියලා එයාව ගෙදර ගෙනිහිනුත් තියාගත්තා. පවුලේ අය තමයි එයාව බලාගත්තෙත්. මම අසනීප ගැනම හිත හිත හිටපු නිසාම මහත්තයගේ අයියා මට ජොබ් එකකුත් හොයලා දුන්නා. ඉතින්, මට වැඩියෙන්ම උදව් කළේ මගෙ පවුලේ අය.

මට බෙහෙත් කරපු නිශ්ශංක සරුයි, ප්‍රියදර්ශනී මිසුයි සෑහෙන්න උදව් කළා මගේ හිත හදාගන්න.එයාලා හිටියෙම මාව කොහොම හරි හොඳ කරනවා කියන මතේමයි.


8. මේ ලබාගත් අත්දැකීම් වලින් ජීවිතේට ලබාගත් ලොකුම පාඩම මොකක්ද?


මහරගම යන්න පටන්ගත්තහම මට හිතුණා මොකක්ද මේ ජීවිතේ කියලා. අපිට වරදින්න ලොකු වෙලාවක් යන්නෑ. හැම මනුස්සයම එකයි කියලා මම ඉගෙන ගත්තා.

අනික තමයි cancer ලෙඩෙක් බලන්න කවමදාවත් පිරිවරාගෙන යන්න හොඳ නෑ. එතකොට එයාලා තවත් මානසිකව වැටෙනවා. පහත් කරලා සලකන්න හොඳ නෑ. එයාලා දිහා බලන්න ඕනි. හැබැයි මානසිකව වට්ටන්න හොඳ නෑ


9. දැන් ජීවිතේ කොයි වගේද?


කිමෝ එක ඉවර වෙලා තුන්වෙනි සතිය වෙනකොට මගෙ කොණ්ඩේ ආයේ වැවෙන්න ගත්තා. දැන් මට ලස්සන කොණ්ඩයක් තියෙනවා. මම Wedding වලට පවා ගියා. මම ජොබ් එකට බැඳුණේ ලිපිකරුවෙක් විදියට. අද මම ඉහල තැනක ඉන්නවා. අදටත් මම උදේ හවා පින් දෙනවා ඒ Doctorsලට. මම අද ලස්සනට ඉන්නවා. මගෙ කිසිම අඩුපාඩුවක් නෑ අද. හැබැයි මගෙ දකුණු අතින් අදටත් වැඩක් කරන්න බෑ. මොකද කිහිල්ලේ තිබ්බ වසා ගෙඩි අයින් කරපු නිසා. මම හැම වැඩක්ම කරනවා.හැබැයි අදටත් ඒ අත හරි පරිස්සම්.


10. ඉතින් අක්කේ, අවසාන වශයෙන් මොකක්ද දෙන්න තියෙන පණිවිඩය මේ සමාජයට වගේම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන අයට?


මුලින්ම ගැටිත්ත හඳුනාගෙන තුන් වතාවක් මගෙම කැමැත්තෙන් පරීක්ෂණ කරපු නිසා තමයි Doctorsලත් මට උදව් කළෙත්. පුලුවන් තරම් තමන් තමන් ගැන හොයන්න ඕනි. තමන් ගැන දන්නේ තමන්නේ. මම මගේ ප්‍රතිකාර හරියටම කළා අවුරුද්දක්ම. ඒනිසා තමයි මට අදටත් මෙහෙම ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ. අද කාලේ මේක සාමාන්‍ය ලෙඩක්. අපිට දැනෙනවනම් අපේ ඇඟේ වෙනසක්, කවදාවත් ලැජ්ජා වෙන්න හොඳ නෑ. තමන්ට, තමන්ගේ ඇඟට තමන්ම අවදානය දෙන්න ඕනි.


ඔබගේ වටිනා කාලය, අපි වෙනුවෙන් වෙන් කලාට බොහෝම ස්තූතියි!

Enjoyed this article?

Stay updated with our latest news, projects, and insights. Join our community today!